හස්ත රේකා හා අංක විද්‍යා

අංක විද්‍යාව හා පෞද්ගලික අංකය

අංක විද්‍යාව හා පෞද්ගලික අංකය

Chaldean-Numerology-Calculatorඅංක විද්‍යාව Numerology යනු ගණිතමය සංකල්ප මත ගොඩනැගුණු පැරණි විද්‍යාවකි. ජ්‍යොතිෂ විද්‍යාව, දේහ ලක්‍ෂණ විද්‍යාව, හස්ත රේඛා විද්‍යාව, වාස්තු විද්‍යාව මෙන්ම අංක විද්‍යාවද මිනිසාගේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා යොදා ගත හැක. අංක විද්‍යාවේ ඉතිහාසය බැබිලෝනියානු ශිෂ්ටාචාරය දක්වා දිව යයි. අංක විද්‍යාවේදී හිබෲ ක්‍රමය, චාල්ඩියන් ක්‍රමය, වෙයිරෝ ක්‍රමය හා පයිතගරස් ක්‍රමය වැනි අංක විද්‍යාත්මක ක්‍රම භාවිතා වේ. අංක විද්‍යාව බටහිරට නැඹුරුතාවයක් දක්වනුයේ ග්‍රීක ජාතික ගණිතඥයෙකු වූ පයිතගරස් නිසාවෙනි. හෙතෙම නූතන අංක විද්‍යාවේ පියා ලෙස පිළිගැනේ. අංක විද්‍යාවට අනුව සෞරග්‍රහ මණ්ඩලයේ රවි, සදු, බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, රාහු, කේතු මෙන්ම නව ග්‍රහයන්ට අයත් නොවන යුරේනස් හා නැප්චූන්ද අංක 1 සිට 9 දක්වා ඇති අංක 9 යට අනුගත කොට ඇත. එම අංක පිළිවලින් ග්‍රහයන්ට ගලපා ඇත්තේ මෙසේය. 1 – රවි, 2 – සඳු, 3 – ගුරු, 4 – රාහු / යුරේනස්, 5 – බුධ, 6 – සිකුරු, 7 – කේතු / නැප්චූන්, 8 – ශනි, 9 – කුජ ආදී වශයෙනි.

නමක භාවිතා වන ශබ්ද වල අක්ෂර රූප වලට සංඛ්‍යාත්මක වටිනාකම් දී ඇත. එහිදී ස්වර අක්ෂර හෙවත් ප්‍රාණාක්ෂර vowels හා ව්‍යංජන අක්‍ෂර හෙවත් ගාතාක්‍ෂර Consonants වෙන වෙනම සලකා ඇත. එලෙස එම අක්ෂර වලට අනුරූප සංඛ්‍යාවන් විවිධාකාරයේ විශ්ලේෂණයන්ට භාජනය කිරීම තුළින් විශ්මිත ඵලාඵල අනාවරණය කරගත හැක. පුද්ගල චරිතය, වෘත්තිය, ආර්ථිකය, විවාහය, සෞඛ්‍යය, මිතුරන් වැනි දෑ ඊට ඇතුළත්ය. පුද්ගලයෙකුගේ නමෙහි අක්ෂරයන්ට අනුරූප අංක විශ්ලේෂණයෙන් විශේෂිත අංක කිහිපයක්ම වියුත්පන්න කරගත හැක. එලෙස නාමාක්ෂර වර්ග කරණු වස් පයිතගරස් චක්‍රය හා කබලා චක්‍රය භාවිතයේ යෙදේ.
පයිතගරස්ට අනුව ඔත්තේ අංක හෙවත් පුරුෂ අංක ඉතා ප්‍රබලය. මෙහිදී ඔහු ටෙට්‍රැඞ් Tetrad   හා ඩිකැඞ් Decad ලෙස අංකයන් මූලික වශයෙන් වර්ග කරයි. ටෙට්‍රැඞ් වලට අඩංගු වන්නේ අංකයන් නිර්මාණය වූ අංකයි. සියලුම අංක නිර්මාණය වීමට අංක 1 මූලික වේ. එහෙයින් අංක 1 ප්‍රධාන සම්පාදක අංකය යි. එනම් සියලුම අංකයන්හි මූලික පදනම 1 ය. එය බෙදා සෙසු අංක වලට වෙන් කළ නොහැක. පයිතගරස් මතය අනුව පළමු ස්ත්‍රී අංකය 2 ය. පළමු පුරුෂ අංකය 3 ය. රෝම වැසියන් ඉරට්ටේ අංක හෙවත් ස්ත්‍රී අංක අවාසනාවන්ත අංක ලෙස පිළිගනී. එය කොතෙක් දුරට සත්‍යද යන්න මට ගැටලුවකි. තවද ජාතීන් වශයෙන්ද ඇලුම් කරන අංක පවතී. එහිදී එංගලන්ත වැසියන් 2, 3, 7 යන අංක වලට ඉතා කැමතිය. චීන වැසියන් 2, 5 යන අංක ඉතා ප්‍රිය කරයි. රුසියන් ජාතිකයන් අංක 7 ට ද ජර්මන් ජාතිකයන් අංක 5 ට ද ඉතා ප්‍රියය. තවද ලොව අතීතයේ යුද්ධයක් ආරම්භ වීම හා සාමය උදාවීම යන සිදුවීම අංක විද්‍යාවට අනුව විග්‍රහ කිරීමේදී එම සිදුවීම් සිදු වූ වසරවල් අතර අංකමය රිද්මයන් දැකිය හැක. ඒ සඳහා නිදසුන් ගණනාවකි. කෙසේ වෙතත් අප අපගේ ජීවිතයට වඩාත්ම සමීපතම අංකයන් පිළිබඳව දැනුවත් විය යුතුය. එහිදී තම තමාගේ ජීවිතයට සුවිශේෂ වූ අංකයක් ඇත. එය තම තමාගේ අතීත ජීවිතයේ සුවිශේෂ සිදුවීම් සිදුවූ දින වකවානු අධ්‍යයනය තුළින් සොයා ගත හැක. එපමණක් නොව අංක විද්‍යාව තුළින් අපේ ජීවිතවලට සම්බන්ධ අය තමාට කොතෙක් දුරට ගැළපේද යන්න පවා තීරණය කළ හැක.
අංක විද්‍යාව පදනම් වී ඇත්තේ පුද්ගලයෙකුගේ නම සහ උපන්දිනය මතය. මෙහිදී පුද්ගල නාමයක් සකස් වනුයේ කොටස් 3 කිනි. ඒ මුල නම, මැදනම හා වාසගම යනුවෙනි. එහිදී මුල් නමෙන් පෞරුෂයද මැද නමෙන් ක්ෂණික ප්‍රතිචාරද වාසගමෙන් පරම්පරාවද පිළිඹිබු වේ. මෙහිදී මුල නම වෙනුවට හුරුනමද නමේ මුල අකුර සේම නමේ අඩංගු ස්වර හා ව්‍යංජන අක්ෂර පදනම් කරගනිමින් ද යම් යම් ගණිත කර්ම අනුසාරයෙන් නොයෙක් විශේෂිත අංක සොයාගත හැක. එම විශේෂිත අංක මගින් පැවසිය හැකි දේ එමටය. අංක විද්‍යාවේදී ඇතැම් විට පීරමීඩ ක්‍රමයද විශේෂිත අංක සොයා ගැනීම සඳහා භාවිත වේ. මෙම පිරමීඩ ක්‍රමය ඉතා පැරණි හීබෲ ක්‍රමයට මෙන්ම චාල්ඩියන් ක්‍රමයටද සිදු කළ හැක. එහෙත් නූතන අංක විද්‍යාවේදී පලාඵල පැවසීමට බහුලව පයිතගරස් චක්‍රය යොදා ගනී. එම චක්‍රය පයිතගරස්ගේ නිර්මාණයකි. පයිතගරස් චක්‍රයේදී 1 සිට 9 දක්වා සංඛ්‍යාත් A සිට Z දක්වා ඉංග්‍රීසි හෝඩියේ අක්ෂරත් යම් රටාවකට පිහිටුවා ගනු ලැබේ. මෙම චක්‍රය ආධාරයෙන් සම්පූර්ණ නමට අනුරූපව වුවද ගණිත කර්ම ආධාරයෙන් තනි අංකයක් ලබාගත හැක. මේ සඳහා බහුලව භාවිතා වන නමද යොදාගත හැක. එපමණක් නොව ව්‍යාපාරික නාමයක්, යම් භාණ්ඩ නාමයක් වුවද විශ්ලේෂණය කර තනි අංකයක් ලබාගත හැක. එම අංකයට අනුව පැවසිය හැකි දේ එමටය. පයිතගරස් චක්‍රය පහත දැක්වේ.
1         2         3         4         5         6         7         8         9
A        B        C        D         E         F        G         H        I
J         K        L        M        N        O       P          Q        R
S         T        U        V        W        X      Y           Z
පයිතගරස් චක්‍රයට වඩා කබලා චක්‍රය තරමක් වෙනස් මුහුණුවරක් ගනී. මෙම චක්‍ර දෙකේම A සිට Z දක්වා ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර භාවිතා කළද අංක භාවිතා කරනු ලබන්නේ 1 සිට 8 දක්වා පමණි. චාල්ඩියන්වරුන් ඇදහූ දෙවියන්ට අක්ෂර 9 කින් යුත් නමක් වූනිසා කබලා චක්‍රයෙන් 9 ඉවත් කර ඇත. එනමුත් කබලා චක්‍රයේදී අංක වලට අනුරූපව ඉංග්‍රීසි අකුරු පිහිටුවීම පයිතගරස් චක්‍රයට වඩා වෙනස්ය. කබලා චක්‍ර වර්ග 2 කි. ඒ වියරෝ සහ සෙෆාරියල් යන අංක විද්‍යාඥයින්ගේ මතයන් අනුවය. කබලා චක්‍රය සොයාගනු ලැබුවේ චාල්ඩියන්වරුන් විසිනි. මෙම චක්‍රය හිබෲ ජාතිකයන්ගේ අතට පත්වීමත් සමඟම එය ඔවුන්ගේ චක්‍රයක් ලෙස ප්‍රචලිත විය. තවද අංක විද්‍යාවේ භාවිතා වන ටැරොට් කාර්ඞ් Tarot Card ක්‍රමයද කබලා ක්‍රමයට සමීපය.
උක්ත පයිතගරස් චක්‍රයේ ආධාරයෙන් පෞද්ගලිකත්වExpression Number ප්‍රකාශන අංකය. Jndividuality Number හෙවත් ආකෘතික අංකය සොයමු. මෙම අංකය නමේ අක්ෂර ගණනය කිරීමෙන් ලැබෙන අංකය යි. මේ සඳහා පළමුව නම ඉංග්‍රීසි භාෂාවෙන් නිවැරදිව ලියා ගත යුතුය. දැන් පයිතගරස් චක්‍රයට අනුව එක් එක් ඉංග්‍රීසි අක්ෂරයට ලැබෙන වටිනාකම සොයාගත යුතුය. ඊට පසු අදාළ නාමයේ අක්ෂරයනට හිමි අගය සටහන් කර ඒවා එකිනෙක එකතුකර තනි ඉලක්කමක් ලබාගත යුතුය. පුද්ගලයෙකුගේ නමෙහි සුවිශේෂත්වයක් තිබේ. සෑම නමකටම අංක විද්‍යාත්මකව අගයක් හිමිය. පයිතගරස් චක්‍රයේදී ඉංග්‍රීසි අකුරු වලට අගයන් ලබාදී ඇත්තේ ඉංග්‍රීසි හෝඩියේ කී වන අක්ෂරයද යන්න සැලකීමෙනි. එහිදී ද තනි ඉලක්කමකට ගැනීමේ සිද්ධාන්තය භාවිත වේ. උදාහරණයක් ලෙසD යනු ඉංග්‍රීසි හෝඩියේ 4 වන අකුරයි. M යනු ඉංග්‍රීසි හෝඩියේ 13 වන අකුරයි. එය 1 .. 3 = 4 ලෙස තනි ඉලක්කමකට ලඝු කළ හැක. නමක ඇති අක්ෂරයනට අනුරූප අගයන් එකතු කිරීමෙන් ලැබෙන අවසන් තනි ඉලක්කම අංක විද්‍යාව විසින් හඳුන්වාදෙනු ලබන්නේ පෞද්ගලිකත්ව අංකය ලෙසිනි. මෙම අංකය මගින් යමෙකුගේ ජීවිතයේ පෞද්ගලික තොරතුරු බොහොමයක් අනාවරණය කරගත හැක. උදාහරණයක් ලෙස මහේන්ද්‍ර ශ්‍රීනාත් පල්ලෙබැද්ද යන සම්පූර්ණ පුද්ගල නාමයේ පෞද්ගලිකත්ව අංකය හෙවත් ආකෘතික අංකය සොයමු.
පියවර 1 – අදාළ නාමය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීම
Mahendra Srinath Pallebadda

පියවර 2 – පයිතගරස් චක්‍රයට අනුව ඉංග්‍රීසි අක්ෂරයට හිමි අගයන් ආදේශ කිරීම
Mahendra Srinath Pallebadda
4 1 8 5 5 4 9 1  1 9 9 5 1 2 8  7 1 3 3 5 2 1 4 4 1

පියවර 3 – ඉහත නම් තුනේ ඉලක්කම් වෙනවෙනම එකතු කර ලැබෙන අගයන් නැවත නැවත එකට එකතු කර තනි ඉලක්කමක් ලබා ගන්න
4+1+8+5+5+4+9+1=37, 1+9+9+5+1+2+8=35, 7+1+3+3+5+2+1+4+4+1=31
37+35+31=103, 1+0+3=4

ඉහත සඳහන් සම්පූර්ණ නමේ පෞද්ගලිකත්ව අංකය 4 වේ. පෞද්ගලිකත්ව අංකයට අනුව චරිතය සහ පෞද්ගලිකත්වය හෙළිවන අන්දම ඉතාම සැකවින් මෙසේය.
1 නම් – වාසනාවන්තය, ධෛර්යවන්තය, ස්වාධීනය, ආත්මාර්ථකාමීය, අවංකය, හුදකලාව ප්‍රියය, කථාවට මෙන්ම ක්‍රියාවටද දක්ෂය, ධනයට ගිජුය.
2 නම් – මිත්‍රත්වයට ප්‍රියය, සුන්දරය, නිදහස අගයයි, හුදකලාව ප්‍රියය, සංවේදීය, ඊර්ෂ්‍යාවන්තය, කරුණාවන්තය.
3 නම් – කෙළිලොල්ය, ක්‍රියාශීලීය, ප්‍රීතිමත්ය, කථාවට බරය, උස් හඬින් කථා කරයි, පරිත්‍යාගශීලීය, පාලනයට දක්ෂය, සර්ව ශුභ වාදීය, දර්ශනවාදීය.
4 නම් – ඉවසිලිවන්තය, විශ්වාසවන්තය, නම්‍යශීලීය, සංවේදීය, අවංකය, සත්‍යවාදීය, හිතුවක්කාරය, ආත්මාර්ථකාමීය.
5 නම් – උගත්ය, ධෛර්යවන්තය, අවස්ථාවාදීය, බුද්ධිමත්ය, කඩිසරය, චංචලය, නිදහස අගයයි, කථාවෙහි දක්ෂය, සර්ව ශුභවාදීය.
6 නම් – සාමකාමීය, සහජීවනයෙන් යුතුය, විශ්වාසවන්තය, ජීවිතය සමබරය, නිවසේ විසීමට ප්‍රියය, පරාර්ථකාමීය, දුර දිග නොබලා තීරණ ගනී, මතක ශක්තියෙන් ඉහළය, උත්සාහවන්තය, අධි සංවේදීය.
7 නම් – තැන්පත්ය, චරිතවත්ය, විශ්වාසවන්තය, උගත්ය, බුද්ධිමත්ය, ඉවසිලිවන්තය, සංවේදීය, නිහඬය, දර්ශනවාදීය, කපටිය, නායකත්ව කුසලතාවලින් හෙබිය, හිතුවක්කාරය, නිදහස අගයයි.
8 නම් – සමාජ සේවයට හිතය, ජීවිතයේ කරදර කම්කටොළු බාදක බහුලය, විනය ගරුකය, නීතිගරුකය, මධ්‍යස්ථ මතධාරීය, කරුණාවන්තය.
9 නම් – නිදහස් අදහස් දරයි, කලහකාරීය, ව්‍යාපාර වලට දක්ෂය, ක්‍රියාශීලීය, ධෛර්යවන්තය, කලබලකාරීය, ඊර්ශ්‍යාවන්තය, දුරදිග නොබලා තීරණ ගනී, සර්ව අසුබ වාදීය, නායකත්ව කුසලතාවලින් හෙබිය, කාර්ය බහුලය.
අංක විද්‍යාවේදී පුද්ගල නාමය හා උපන් දිනය පදනම් කර ගනිමින් සොයාගන්නා විශේෂ අංක අතර අන්තර් සම්බන්ධතාද පවතී. එයට කදිම නිදසුනක් ලෙස පෞද්ගලික අංකය හෙවත් ආකෘතික අංකය දෛව අංකය හෙවත් කූටප්‍රාප්තික අංකයට ඇතැම්විට සමාන වීම දැක්විය හැක.

(උපුටා ගැනීමකි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *