ළිඳ කැපීමට සුදුසු බිම තෝරා ගැනීම
මිනිසාට ජීවත් වීමට ආහාර අවශ්‍ය වන්නා සේම බීමට ද ජලය අවශ්‍යය. මෙම අවශ්‍යතාවය සපයා දෙන්නාට දෙවි මිනිස් සැප ලැබෙන බව අපගේ පැරණි බණ පොත් වල සඳහන්ව ඇත. ඒ වගේම ජලය ඇති ළිඳක් යම් අයෙක් සාදා දුනහොත් තමා විසින් කරන ලද පාපයන්ගෙන් අඩක් පහවෙන බව විෂ්ණු පුරාණයේ සඳහන්ව ඇත. මෙසේ බැලීමේදී ළිඳක් සපයා දීම අනන්ත කුසල් අත්වෙන බව සත් ක්‍රියාවකි.
පිරිසිදු ජලය ඇති ළිඳක් කැපීමට සුදුසු බිමක් තෝරා ගැනීමේ ක්‍රම කීපයක් අප අතර පවතිනවා. පරිසරය හර්ත වර්ණ ආදී අංගයන් මෙන්ම මෙය මෑත කාලයේ සිට කූරු ගසා ජලය ඇති නැති තැන් සොයන ක්‍රමයක් ද ඇත.
මෙම ක්‍රම සහ විධි අනුගමනය කරමින් ළිඳ ඉදිකළ ද සමහර අවස්ථාවල ජලය නොමැත. එසේ නැති නම් කළු කල් මතු වී අතහැර දැමීමට සිදු වූ අවස්ථා එමටය. මෙය වන විට කාලයත්, මුදලුත් අපතේ ගොස් හමාරය.
ජලය ඇති බව එදා පැරැන්නන් අනුගමනය කළ විධි
වැඩිවියට පත් වීමට ආසන්නයේ සිටින දැරියන් නාවා පිරිසිදු ඇඳුම් අන්දවා සුවඳ විලවුන් ගල්වා උදේ කාලයේ (දවල් 12.00 ට පෙර) පිරිසිදු පැන් කළයක් උකුලේ තබා සුබ මොහොතින් ළිඳ කැපීමට අරමුණු කරගෙන ඇති බිම පුරාම එම පැන් කළය සම්පූර්ණයෙන්ම වත් කිරීමට සලස්වන්න. ඉන් පසු ඇයගේ ශරීරයේ යම් කිසි අවයවයක් දකුණු අතින් ස්පර්ෂ කිරීමට උපදෙස් දෙන්න.
ඇය ස්පර්ෂ කරන ශරීරයේ ස්ථානය අනුව ප්‍රතිඵලය මෙසේය.
බෙල්ල – ගල් සහිත බිමකි. රියන් කීපයක් යට වතුර ඇත.
කෙන්ඩ – තුන් රියනක් යට වතුර තිබේ. ඊට සත් රියනක් යටින් ගලකි. එහි යට ජලය ඇත.
පියවුරු – තුන් රියනක් යට ගලකි. ගල යට දිය පාරකි.
බාහුව – සිව් රියනක් යට ගලකි. ගල යට මහත් දිය පාරකි.
උරහිස – රියනකින් වතුර මතුවේ. දෝස සහිතය ළිඳ නොකපන්න.
මුඛය – කුඩු සහිත ගලකි. මිනිරන් මිශ්‍ර වතුර තිබේ. ඊට යටින් රියන් 12 යට පිරිසිදු ජලය තිබේ.
දත් – හොඳ නැත. බාධාවකි.
නාසය – හතර රියනක් යට සිට 11 රියනක් අතර හොඳ වතුර ඇත.
හිස – ගලකි, කැඩීමට අපහසුය.
පිට, කණ හා මෙහි සඳහන් නොකළ ශරීරාංග ස්පර්ෂ කළේ නම්, බාධාවක් නැත. පහසුවෙන් ජලය ලැබේ.
මෙසේ බිම තෝරාගෙන ළිඳ කැපීමෙන් අනතුරුව මුහුදු, ගංගා, පර්වත යන මේවායින් මැටිද, නවරත්න, රනින් කළ සිරිකත, රේමන්, ඉදිබු, මකම රූප පස්ගෝරස, පිරිසිදු ගංගා ජලය ළිඳට දමා දින 10 ගත වූවාට පසු නැවුම් කළයකට ප්‍රථම ජලය ගෙන එම ජලයෙන් කිරිබත් පාත්‍රයක් සාදා ඉතිරි ජලය ගෙන බෝධි පූජාවක් තබා ළිඳෙහි ජලය ප්‍රයෝජනයට ගන්න.
ජලය පිරිසිදු වීමට ඖෂධ සංයෝගයක්
මෙසේ කපා ගන්නා ලද ළිඳෙහි යම් ආකාරයකට ජලය ලුණු හෝ අමිහිරි දුගන්ධයක් දැනුනේ නම් ජලය පිරිසිදු කර ගැනීමට පහත දැක්වෙන උපදෙස් පිළිපදින්න.
විෂ්ණුක්‍රාන්ති, කලාදුරු අල සුවඳ කොට්ටම්, මහ වැටකොලු, ඉඟිනි ඇට, යන මේ බෙහෙත් ද්‍රව්‍ය සම සමව ගෙන කුඩුකර පොට්ටනියක් බැඳ ගන්න.
ඉන් අනතුරුව ළිඳේ ජලය අස්කර උල්පත් ආසන්නයේ කුඩා කළු ගල් කැට අසුරන්න. ඊට පසු ඒ ආසන්නයේම ගංගා වැලි (ගල් කැට සහිත) අතුරන්න. මෙසේ කර ළිඳේ ජලය මදක් පිරුනු පසු ඉහත සඳහන් බෙහෙත් පොට්ටනිය ළිඳට දමන්න.
පිරිසිදු මිහිරි ජලය ස්ථිරව ලැබෙන තත්කාල ග්‍රහයෝගයක්
උච්ච බලයෙන් හෝ ස්වත්ෂේත්‍ර බලයෙන් යුත් ගුරු, බුධ, සිකුරු, පුර සඳු යන මෙම ශුභයින් කීපදෙනෙක් කේන්ද්‍රස්ථානයේ හෝ ත්‍රිකෝණස්ථානයේ තබා සුබ ලග්නයක් තත්කාලයට යොදා එම මොහොතේ ළිඳ කැපුවේ නම් මිහිරි ජලය ස්ථිරවම ලැබෙන බලගතු යෝගයක් බව දන්වනු කැමැත්තෙමි.
ළිඳ කැපිය යුතු දිශාව
නිවසකට අදාළ ගෙවත්තේ ළිඳ කැපීමේදී දිශා නිර්ණය කිරීමට නිවස මධ්‍යයේ හෙවත් බ‍්‍රහ්ම පාදයේ කොම්පාසුවක් හෙවත් මාලිමාවක් තබා නිර්ණය කිරිමෙනුයි. පෘථිවියේ පිහිටීම් පවත්නා ආකාරයත්, එහි පැවැත්ම සඳහා එහි හැඩය පාදක වී ඇති අන්දමත් අවබෝධ කරගෙන අපගේ අවශ්‍යතාවට යහපත් අන්දමින් යොදා ගැනීම අපගේ අපේක්ෂාව වෙනවා.උතුරට නැගෙනහිරට මැදිවූ ඊසාන පෙදෙස ස්වභාවික වශයෙන් සැහැල්ලූයි. ආලෝකමත්. බෑවුම් සහිතයි. එහෙයින් එය වෙනස් නොකළ යුතුයි. එමෙන්ම බටහිරට හා දකුණට මැදි වූ නිරිත පෙදෙස බරයි. අඳුරුයි එමෙන්ම උස්ය. ස්වභාවික තත්ත්වය එයයි. එය වෙනස් නොකළ යුතුයි. පඨවි පදාර්ථයන්ට අයත් මෙම පෙදෙසේ බිම් ගෙවල් ළිං කුහර නොපැවතිය යුතුයි. කැනීම් නොකළ යුතු අතර ඊසාන ජලාශ‍්‍රිත පෙදෙසක් වන හෙයින් යට කැනීම්, ළිං කුහර ආදියට ඔරොත්තු දෙනවා. ඒ ඒ දිශාවන්ට අයත් මෙම ශක්ති පදාර්ථයන් තේරුම් ගන්නේ නම් වාස්තු විද්‍යානුකූල නිවසක් මෙන්ම දෝෂ රහිත ළිඳක්ද සැලසුම් කරගන්නට පුළුවන්.
දිශා වලින් වන බලපෑම ප‍්‍රභලයි ද?
ළිඳ කැපීමට වඩා සුදුසු දිශාව වන්නේ ඊසානයි. එහි ළිඳ කැපීමෙන් නිවසට අවැසි දොළොස් වැදෑරුම් ධන සම්පත් ළඟාකර ගැනීමේ ශක්තිය ජනිත වෙනවා. උතුරු දිශාවේ ළිඳ දෙවැනි ශුභ දිශාවයි. එයින් සම්පත් ලැබීමේ, ශ‍්‍රියාව ඇතිවීම සිදු වෙනවා. තෙවැනි දිශාව නැගෙනහිරය. භවභෝග සම්පත් ලැබීම නිරන්තරව සිදු වෙනවා. ගිනිකොණ දිශාවේ දකුණු පැත්තට බරවන සේ අශූභ වන අතර විදුලිසර, අකුණු හානි, වාහන අනතුරු ආදිය සිදු වෙනවා මෙන්ම දකුණු දිශාව ඉතාම අශුභ වන අතර අනපේක්‍ෂිත විපත් කරදර ඇති වෙනවා. දකුණට බර නිරිත දිශාවේ ළිඳ සෑ¥ විට භව භෝග සම්පත් අහිමි වීම, අනතුරුවලට ලක්වීම ඇති වෙනවා. උතුරට බර වයඹ මධ්‍යස්ථ වන අතර, බටහිරට බර නිරිත හා නැගෙනහිරට බර ගිනිකොණ ආදියේ ළිං කැපීම මාරක විපත් ඇති නොවුණත් ශුභ පල අවම වෙනවා. බස්නාහිර ළිඳ ශූභ අශුභ තත්ත්ව වලින් තොර වෙනවා මෙන්ම දකුණු දිශාවේ ළිඳ කැපූ විට ස්ත‍්‍රී හානි, පීඩා, ධන හානි පවුලේ මරණ ආදී බොහෝ අයහපත් තත්ත්ව ඇති වෙන්නට පුළුවන් .හැමවිටම ළිඳක් ඊසාන, උතුර, නැගෙනහිර දිශාවන්ට අනුගතව කැපීමට හැකි නම් ප‍්‍රතිඵල ප‍්‍රශස්ථ වෙනවා. එසේම ඉඩමේ බ‍්‍රහ්ම පාදය සහ පේ‍්‍රත පාදය ළිං නොකැපීමට වගබලා ගැනීමද ඉතා ශුභදායකයි.
මිනුම් කොපමණද?
නිවසේ අත්තිවාරමේ සිට ළිඳේ ඉවුරට ඇති දුර ප‍්‍රමාණය අනුව ශුභ සහ අශුභ රියන් තීරණය වෙනවා. මේ අනුව රියන් 7 ධන ලාභ, සියලූ ක‍්‍රියාවන් ඉටුවීමද, 13 ධන ලාභද, 15 කීර්ති ප‍්‍රශංසාද, 23 කාර්ය සිද්ධියද ඇති වෙනවා.රියන් 4, 5, 11, 30, 43 වූ විට විපත් ඇතිවන අතර අශුභ රියන් ලෙස ගණනය කරන අතර රියන් 60 කට වඩා දුරින් ළිඳ තිබීමෙන් ශුභ හෝ අශුභ දෝෂයක් ඇති වෙන්නේ නැහැ.
නිවසේ සිට ළිඳට වැටෙන කෝණ දෝෂ
නිවසේ අටකොණ ළිඳ වෙත එල්ල නොවිය යුතුයි. මෙමගින් නිවසේ ජීවත් වන ගෘහ මූලිකයන්ට සහ පිරිමි අයට සෘජුවම බලපානු ලබනවා.නිවසේ වහළයට සාපේක්ෂව දෝෂ නොවන ආකාරයට ළිඳ කපන ස්ථානය නිර්ණය කිරීම අතිශය වැදගත් වන අතර වහළයට දෝෂ සහිත ළිඳ නිසා නිවැසියන්ට අනේක විධ කරදර බාධක, ලෙඩ දුක්, සතුරු පීඩා සහ මාරක අවස්ථා ඇතිවීමට හේතු වෙනවා.
ළිං කැපිය යුතු කාල වකවානුව කුමක්ද?
ළිං කැපීමට හොඳම කාලය උත්තරායනයයි. උත්තරායන කාලය වන්නේ ජනවාරි 14 සිට ජූලි 15 දක්‌වා කාලයයි. මෙම කාලයේදී හොඳ දිය සීරාව සහිත ජල උල්පත් හමුවේ.දක්ෂිණායනය යනු ජූලි 16 සිට ජනවාරි 13 දක්වා කාලයයි. එම කාලයේ ජල උල්පත් මඟහැරී යයි. එසේම අධික වර්ෂාව පවතින හෝ අධික නියඟය පවතින කාලවල ළිං කැපීම ශුභ නැත. මධ්‍යස්ථ දේශගුණයක් පවතින කාලවල ළිං කැපීමට ශුභ මාස හා ප‍්‍රතිඵල අතර අප‍්‍රියෙල් බක් ධනලාභ, මැයි වෙසක් සම්පත් ලැබීම,ජුනි පොසොන් අමනුෂ්‍ය භය,ජූලි ඇසළ දුක් කරදර,අගෝස්තු නිකිණි සැප සම්පත්,සැප්තැම්බර් බිනර සතුරු භය,ඔක්තෝබර් වප් රෝග පීඩා, නොවැම්බර් ඉල් දුක් කරදර,දෙසැම්බර් උඳුවප් කීර්ති ප‍්‍රශංසා,ජනවාරි දුරුතු වස්තු ලා,පෙබරවාරි නවම් භය,මාර්තු මැදින් සෞභාග්‍යය ආදි වශයෙන් වැදගත් වෙනවා.
නියමිත නැකැත මොකක්ද?
එසේම මේෂ, වෘෂභ හා මිථුන යන රාශිවල ශුභ මොහොතකින් ළිං කැපීම කළහොත් ජල උල්පත් ඉතා පහසුවෙන් මතු කරගත හැකි බව සඳහන් වන අතර. සඳුදා, බදාදා, බ‍්‍රහස්පතින්දා ළිං කැපීමට ඉතා සුදුසු වෙනවා. එම දිනයන්හි පුර පක්ෂයේ ගුරු, කිවි බලවත්ව තිබීමද වැදගත්. ළිං කැපීමට සුදුසු නැකත් වශයෙන් හඳුන්වා ඇත්තේ රෙහෙණ, මුවසිරස, මා උත‍්‍රපල්, හත, අනුර, පුවසල, උත‍්‍රපල, දෙනට, සියාවස, උත‍්‍රපුටුප, රේවතී යන නැකැත්ය.
කළ යුතු දේ කුමක්ද?
ගොඩනැඟිලි රහිත අලූත් ඉඩමක පළමු පියවර වශයෙන් ළිඳ කැපීම ආරම්භ කිරීම මිස කිසිසේත් වැසිකිළි වළ හෝ වැසිකිළිය සෑදීම පළමුවෙන් නොකළ යුතුයි. එමෙන්ම භාර්යාව ගර්භනීව සිටින කාලය තුළද ළිං කැපීම නුසුදුසු වෙනවා.ළිඳක් කැපීම මෙන්ම වැසීමද අපට රිසිසේ කිරීම නොකළ යුතුයි. සමහරු කුණු, පස්, ගල් කැට, කෙසෙල් කොට දමා ළිඳ පිරවීම කරන අතර මෙයින් නිවස තුළ වෙසෙන්නන්ට වන අයහපත කිව නොහැකි තරම්.
දෝෂ භයානකයි …
නිවසකට ජලය සම්පතකි. ඒ සඳහා ළිඳ ඊසාන හෝ උතුරු දිසාවේ කැපිය යුතු වෙනවා. නිවසේ මුළු අසු නොවන සේ ළිඳ කැපිය යුතු අතර ඉඩමේ සීමාවේ පේ‍්‍රත පාදය ද අසුබ වෙනවා. නිවසේ අත්තිවාරමේ සිට රියන් 7, 15 දුර ප‍්‍රමාණය ඉතා සුබ වේ. 4, 5, 11 ඉතා අසුබ වන අතර රියන් 5, 11 භාර්යාවට මරණද 43, 48 ගෘහ මූලිකයාට විපත්ද 12 රියන පුත‍්‍ර හානිද සිදු වෙනවා.උතුර ඊසාන ළිඳ කැපීමෙන් නිවසට දියුණුව සැලසෙනවා මෙන්ම ගිනිකොණ ළිඳ කැපීමෙන් ගිනි උවදුරු අකුණු සැර උවදුරු ඇතිවන්නට පුළුවන්. දකුණේ ළිඳ කැපීමෙන් පවුලේ හදිසි මරණ සිදුවන අතර .නිරිත දිසාවේ නම් පවුලේ අසමගිය සිදු වෙනවා. වයඹ දිසාවේ නම් සියලූම සම්පත් ධනය විනාශ වන අතර නැගෙනහිර දිසාවේ නම් භාර්යාව අකාලයේ මරණයට පත් වෙන්නට පුළුවන්. මේ නිසා මිදුලේ ලිඳ තිබෙන ස්ථානය පිළිබඳ සැළකිලිමත් වන්න.

